Tuesday 21 June 2016

කුලුඳුල් ආදර හැඟුම්



කිසිම කෙනෙකුට අදාල වෙන්නැති මගේ පුද්ගලික මතකයන් ටිකක්. තනියෙන් කාමරේ ඉද්දි ඔහේ ලියන්න හිතුන.මේක අතිශයින්ම බොලඳ, කියවන්න කම්මැලි හිතෙන, පොදුවේ ගොඩක් අය අත්දැකල තියන, සුජීව ප්‍රසන්න ආරච්චිගෙ නවකතාවක පරිච්චේදයක් වගේ කතාවක්. ( මගේම මතු ප්‍රයෝජනේට කොහේ හරි ලියවුනානන් හොඳයි කියල හිතුන.) කියවන්නම දෙයක් ඇත්තෙම නැත්තං නිකන් ඉන්න වෙලාවක කියවන්න. කියවල මට බනින්න...!

ආදරේ කියන්නෙ හරි බොලඳ හැඟීමක්.. ඒක මිනිස්සුන්ව විහිලුවට ලක් කරනව... මං ආදරේ කරන මිනිස්සු දිහා බලාගෙන හිනා වුනා. මං දැකල තිබුන මගේ පංතියෙ යාලුවො පැය ගනන් බස් හෝල්ට් වල ගර්ල් ෆ්‍රෙන්ඩ් එන බස් එක එනකං බලං ඉඳල හැන්දෑවට එයාව ගෙදර ලඟට ඇරලල ඊලඟ බස් එකේ අනික් පැත්තට ගෙදර යනව.  ඉස්කෝලෙ ඇරිල කෙල්ලගෙ ඉස්කෝලෙ ගාවට දුවනව ස්කූල් වෑන් එකේ නගින කෙල්ලට අත වනන්න. කොමර්ස් කරන උන් මැත්ස් ටියුශන් ක්ලාස් යනව කෙල්ල එක්ක.පෙම්පත් වල පැය ගනන් වචන ගලප ගලප ලියුම් ලියනව. මේව බලල මම හිනා වුනා. මම හිතුවෙම උන්ට පිස්සු කියල . උං හරි මෝඩයි කියල. මට කාලයක් යනකං හිතා ගන්න බැරි උනා ඇයි උං එහෙම හැසිරෙන්නෙ කියල. කොටින්ම මං ඒව ගැන ගැඹුරට තාර්කිකව හිතුවෙ නැති තරං. මොකද උං කරපු කියපුව ඒ තරංම වැදගැම්මකට නැති ක්‍රියා සහ හැඟීම් විදියටයි මම දැක්කෙ.
ඔය සිතිවිලි වලින් ඔලුව වහගෙන ඉන්න කාලෙක මම උසස් පෙල වානිජ අංශයෙන් හදාරන්න තීරනය කරල වානිජ විද්යාව වැඩි දුර හදාරන්න මීගමු ප්‍රදේශයේ ටියුශන් පන්තියකට බැඳෙනව.කණ්ඩායම් පංතියක් නිසා ඒකෙ ලමයි 50කට නොවැඩි ගානක් තමයි හිටියෙ.මම වෙලාවට වැඩ නොකිරීමේ පුරුද්ද කෙල පැමිනි කෙනෙක්. ඉතිං 2.30ට පංතිය පටන් ගත්තත් මම 3න් මෙහා පන්තියට ගිහින් නැහැ. මට හැමදාම සෙට් වුනේ දොර ගාවම බංකුව. ඒක නිසා 6ට පංතිය ඉවර වෙලා ඉස්සෙල්ලම එලියට බහින්නෙත් බස් එකට නගින්නෙත් මම.මට එතන හිටි කිසි කෙනෙක් ගැන වැඩි මතකයක් තිබුනෙ නැති තරං.
මාස කිහිපයක් යන අතරෙ පාසැල් නිවාඩු කාලෙ එලඹෙනව. සතියට දින 2ක් 8.30 සිට 5 වෙනකං පංති පැවැත්වෙන වග සර් අපිට දැනුම් දුන්න.
නිවාඩු කාලෙ පංති පැවැත්වෙන පලවෙනි දවස. එදා වැස්ස දවසක්.බස් එකෙන් එලියට බහිනකොට මුලු මීගමුව බස් ස්ටෑන්ඩ් එකම ජලාශයක් වගේ පිරිල තිබ්බෙ. වෙලාව 9ත් පැනල.මම වැස්සෙම සෙරප්පු දෙකත් අතේ අරන් මහ වීදිය පල්ලිය ලඟට දිව්වෙ.සුලු පටු දුරක් නෙමේ දුවන්න තිබුනෙ. වැස්ස වැඩි උනු නිසාම පන්තියට ටිකක් මෙහායින් තිබ්බ සුරුවම් කඩය ඇතුලට රිංග ගත්තෙ වැස්ස අඩු වෙනකං කියල.මං එතනට වෙලා අහස දිහා බලාගෙන ඉන්න අතරෙ කොහේදෝ ඉඳං ගෑණු ලමයෙක් සුරුවම් කඩය ඇතුලට දුවගෙන ආව. එයාගෙ අතේ කුඩයක් තිබුනෙ නැහැ. ( කුඩයක් නැති කෙල්ලෙක් මං ඔය දැක්කමද මන්ද.) ඇහේ කොනකින් පෙනෙන මානෙ එයා මං ගාවින් හිට ගත්තත් මට ඇය දිහා බලන්න විශේෂ වුවමනාවක් තිබුනෙ නැහැ. ඒත් ඇය මං දිහා බලනව මම ඇස් කොනින් දැක්ක.
"ඔයා ආනන්ද සර්ගෙ ක්ලාස් එකට නේද එන්නෙ" හීන් හඬින් ඇය එහෙම අහද්දියි මම ඇය දිහා බැලුවෙ.වැස්සට තෙත බරිත වෙලා හිටිය ඇගේ කම්මුල් දෙක සීතලට මල් පෙති දෙකක් වගේ රතු වෙලා.ඒ කම්මුල් දිගේ වැහි බිංදු එතකොටත් පහලට රූරමින් තිබුනෙ.ඒ හිනාවෙන ඇස් හරි අහිංසකයි.ඇය ඇඳන් හිටියෙ දම් පාට ,කහ පාට මිශ්‍ර කිසි ගැලපීමක් නැති ගවුමක්.අතේ ලේන්සුවයි පොත් බෑග් එකයි.
ඒ දැක්මත් එක්කම මං  ගොලු වුනා. ජීවිතේ පලවෙනි වතාවට කෙල්ලෙක් ඉස්සහර මං ගොලු වෙලා.පිලිතුරක් හොයා ගන්න බැරිව හිත කොහේදෝ අතරමං වෙලා වගේ දැනුන.මං දන්නෙ නැහැ ඇයි මට එහෙම වුනේ කියල. ඒක හරියට අභ‍යාවකාශෙ සැරිසරමින් තිබ්බ උල්කාපාතයක් එක පාරට ඔලුවට කඩා වැටුන වගේ හැඟීමක්.
මං යන්තං අකුරු ගැට ගහල "ඔව්" කිව්ව. ඉන් පස්සෙ එයා මුකුත් ඇහුවෙ නැත්තෙ මගේ මුහුනේ තිබ්බ වෙනස්කම දැකලද මන්ද. මං වැස්සෙම පංතියට දුවගෙන ආවෙ ඇයටවත් නොකිය.ටිකකින් ඇයත් පංතියට ආවත් මට ඇය දිහා කෙලින් බලන්න තරම් ශක්තියක් තිබ්බෙ නැහැ. ඒ ඇයි කියලවත් මම දැනගෙන හිටියෙ නැහැ.එදා දවසෙම මට පංතියෙ කිසි දෙයක් ඇහුනෙ නැහැ. අනික් උන් විකාර කියවද්දි මම ගොලුවෙක් වගේ ඇය දිහාම බලගෙන හිටිය.සර් විශය කරුනු කියද්දි මගෙ ඇස් ඇය දෙසටම ඇදුන.දවසෙම උමතුවෙන් වගේ ඇය දෙසම බලා හිටපු මට එදා හවස පංතිය ඉවර වුනත් ගෙදර යන්න වුවමනාවක් නොතිබුනු ගානයි. වෙනදාට මුලින්ම බස් එකට ගොඩවෙන මම අද පංතියෙන් පිට වුනේ අන්තිමට. මම දැක්ක ඇය මිතුරියක් එක්ක බස් එකක් එනකන් බස් නැවතුමේ බලා ඉන්නව.මම ඇය යන බස් එක හොයන්න වෑයම් කලා. පුදුමයකට වගේ ඇය 240 කොළඹ බස් එකකට නැග්ගෙ. මම යන්නෙත් ඒ බස් එකේමයි. මම දුවල ගිහින් ඒ බස් එකේම එල්ලුනා. දැන් මම ඇය ලඟ .
"කුරණට ටිකට් එකක්" ඇය ඉල්ලුව. "කටුනායකට එකක්" ඒත් එක්කම මමත් ඉල්ලුව. ඇය මං දිහා බැලුවත් ඒ මූනෙ හිනාවක් නන් තිබුනෙ නැහැ . මම උදේ හැසිරුනු විදියට කෙල්ල ආයෙ මූන බලපු එකත් මදැයි කියල හිතල මම හිත හදා ගත්ත.ඇය කුරණ පල්ලිය හන්දියෙන් බැස්සෙ. මම ඇයව නොපෙනී යනකන් බස් එකේ වීදුරුවෙන් බලාගෙන හිටිය.
එදා හැන්දෑවෙ මම ගෙව්වෙ පුදුමාකාර හැඟීම් ගොඩක් එක්ක. ඒ හැඟීම් මේවයි කියල වෙන් වෙන් විදියට නම් කරන්න බැරි උනත් ඒ ඔක්කොම ආදරේ කියන හැඟීම වටේ කැරකෙමින් තිබ්බ කියල නන් මම දැනගෙන හිටිය. කාලයක් හිත හෙව්ව කෙනෙක් හදිස්සියේම මුනගැසුන වගේ හැඟීමක් එක්ක ආපු සන්තෝසයකින් හිත පිරිල තිබ්බෙ. රූපවාහිනිය දිහා බලාගෙන හිටිය මට මායාවක් වගේ රූප පෙට්ටිය ඇතුලෙත් පෙනුනෙ වැහි බින්දු බේරෙන රෝස කම්මුල්. එවෙලෙ කණට ඇහුනු ගීතයත් ගැයුනෙ මටමද මන්ද.
"♫ ♪ සුහද ආරාධනාවක් අරං ඈ ඇවිත් දොරකඩට...
පවන් රොදකටවත් ඉඩක් නෑ නොවෙද...
අවකාශයම වසාගෙන ඈ සිටිනා විට මා අසල... ඈ සිටිනා විට මා අසල...♫ ♪"
ආදරය , ඒ හා බැඳිච්ච හැඟීම් විහිලුවක් කියල හිතපු මම දැන් කොහෙදෝ අතරමං වෙලා කියල හිතෙද්දි මගේ මුවගට හිනාවක් නැඟුන.
"මොකද පුතේ තනියම හිනා වෙන්නෙ" තේ එකත් අරන් ආපු අම්ම හිනාවෙලා එහෙම අහද්දියි මම ආයෙ පියවි සිහියට ආවෙ. " නෑ.. නිකං" මම අම්ම දිහා බලල හිනා වුනා. අම්ම මං දිහා ආයෙ බලල හිනා වෙලා කුස්සියට ගියා. අම්මට තේරුනාවත්ද?
එදා රෑ ආනන්ද සර් දීපු ටියුට්ස් ටික අරන් පොත් මේසෙ වාඩි වුනත් පාඩම් කිරීම හිතේ මානෙකවත් තිබුනෙ නැහැ.ටියුට්ස් අතරින් වුනත් මම දැක්කෙ ඇගේ රූපෙ. ටියුට්ස් වල කුරුටු ගාමින් හිටපු මගේ හැඟීම් දන්නෙම නැතිව කොලේ කොනක වචන වලට පෙරලිලා.
"වස්සානයේ දිනක...
ආදර ඔබට
හීත උදයෙම හීන වැස්සට තෙමුණු විට ඔබේ වත....
පාට පාටින් නේක විසිතුරු මල් අතර.....
පිනි වැටි රෝස කුසුමක් සේ පෙනුණි.....
මට ඔබ.........
ඔබේම මම"
ඇයටත් නොකියාම මම ඇයව මගේ කරගෙන. එදා රෑ එලි වෙනකං නින්ද මගේ හිත අහලකවත් තිබුනෙ නැහැ. ඇඳේ එහා මෙහා පෙරලෙමින් හිටිය මගේ හිතට නැවත ඇය මුනගස්වන්න කියල මගේ හිත මටම බල කලා. මට මගේ හිත පාලනය කර ගන්න බැරි වුනා.
කණ්‍යාරාමයක ඉගෙනුම ලබන ඇය කතෝලික තරුනියක් කියන දේ මම දැනගෙන හිටිය. පහුවදා උදේ වෙනදාටත් වඩා හොඳට හැඳ පැලඳගෙන බයිසිකලයට නැඟපු මම කෙලින්ම ගියේ කුරණ සාන්ත ආනා දෙවු මැදුරට. ඒ ඉරිද උදේ පූජාවට ඇය අනිවාර්යෙන් ආ යුතු බව මම දැනගෙන හිටිය නිසා. පල්ලියට ඇතුලු වුනු මට සෙනඟ අතරින් වැඩි වෙලාවක් නොයාම ඇයව සොයා ගන්නට පුලුවන් වුනා. සුදු පැහැති චාම් සාය හැට්ටයකින් සැලසිලා ඔලුව වේල් කැබල්ලකින් වහගෙන තනි කරලට කොන්ඩෙ ගොතල ඇය දිව්‍ය පූජාවට සහභාගී වෙමින් හිටියෙ. ඇයගෙ චාම් සරල ගති පැවතුම් වලට මගේ හිත තව තවත් ඇය කෙරේම ඇදුන. පූජාව ඉවර වෙනකන් මට ඉස්පාසුවක් නොතිබුනේ ඇය සමඟ කතා කරන්න තිබ්බ ආසාව නිසාමයි. දිව්‍ය මෙහෙය ඉවර වෙලා ඇය පල්ලිය වත්තෙන් එලියට ඇවිත් නැගනිය එක්ක පාරට හැරෙනවාත් සමඟම මම බයිසිකලයෙන් ඇය ලඟින් ඉදිරියට ගියේ ඇයට මාව අඳුනාගැනීමට නොහැකි වේ යැයි හිතපු නිසායි. ටික දුරක් ඉදිරියට ගිය මම ආයෙත් බයිසිකලය හරවන් ගියේ ඇයගේ ඉදිරිපිටටම ගිහින් කතාවට මුලක් පාදා ගැනීමේ පරම අභිලාශයෙන්. මම ඇය අසල නැවතුනා " කොහොමද?" මම ඇහුව.මම එහෙම අහනවත් එක්කම ඇය නැගනියවත් ඇදගෙනම පාරෙන් අනිත් පැත්තට ගියා. දිව්‍ය මෙහෙයට සහභාගි වී නැවත යන මිනිස්සුන්ගෙන් පාර පිරිල තිබුනෙ.ඒ සෙනඟ අතරින් ඇදිල පල්ලිය පාර අයිනෙ තිබ්බ කුඹුක් ගහ අයිනෙන් ඇය නොපෙනී යනව මම බලාගෙන හිටිය.එදා ඉඳන් පංති පැවැත්වෙන හැම දවසකම මගෙ ගමනාන්තය වුනේ ඔය කුඹුක් ගහ. ඔතන ඉඳන් මම කොච්චර පෙරුම් පිරුවද කියල ඔය කුඹුක් ගහට පන තියනවනන් කියයි.

අද පාන්දර,
කුඹුක් ගහ යට සිට හමා ආ,
සීත සුලඟට හසු වුනා වැනි ඔබේ මුහුනද.....,
ඕලු මල් පෙති සුවඳ වූ මුත්...
මාලු මල් ටය පෙම් කෙලිය මුත්....
යාලුකම් නැති සීත සුලඟකි.
ආදරය නිසා කවියො කලාකාරයො අතින් ශ්‍රේෂ්ට නිර්මාන බිහි වෙනව කියල අහල තිබ්බට ඒ හැඟීම නිසා මම කවියෙක් වෙයි කියල නන් මම හීනෙකින්වත් හිතුවෙ නෑ. ඇය වෙනුවෙන් උපන්න හැඟීම් මගෙ පොත් වල අග පිටු පුරා වචන වලට පෙරලෙනකන් මම ඒ බවක් විස්වාස කලේ නැහැ. අදටත් ඒ කුරුටු ගාපු සිතිවිලි අනන්තව අප්‍රමානව මගෙ පාසැල් පොත් පිටු අතරෙ හැංගිලා ඇති.
මගේ කුලුඳුල් ආදරය හසුකාලීනව මම ජය ගන්නව. අපි වසර ගනනාවක් ආදරේ කරනව. ඒත් අන්තිමට අපි වෙන් වෙනව.මහමේරු පර්වතේට වඩා ලොකුවට පෙරලිච්ච බාධක හමුවේ මට ඇගේ අත ගිලිහෙනව. ඒත් ඒ සුන්දර මතක එදා වගේම තාමත් සුන්දරයි.
අහසේ තරු කැට අතර සිට මට අත වනන සුරංගනාවියනි..
මම ඔබටම පෙම් බැඳ,
උඩු සුලඟට හසුව තටු කැඩුනු සමනලයා වෙමි....
ලං වනු නොහැකි මුත් හැබැහින්...
අත වනනු දුර සිටන් ආදරෙන්....
ඉන්නම් ඒ හීනයේ...
හැමදාම

Thursday 15 October 2015

මියෙමි ...!

සුරතින් ගෙන
ඔබ පිදු
රන් කුසලානයේ
හලාහල විෂ බව
දැන දැනම
මුව තැබූ හින්දා
කිසිත් දොස් ඔබට නොදෙම්...
දෝසය මගේමය
මියෙන්නෙමි...
ප්‍රේමයේ නාමයෙන්
සදාකල්
නොමියෙනා ....

Monday 12 October 2015

අපේ තාත්ත ගැන



මම උගුසිඤ්ඤො.. .උගුසිඤ්ඤො කියන්නෙ ඇත්තම කිව්වොත් අපේ සීය.. එයාගෙ ඇත්තම නම හියුගෝ එක සිංහලෙන් කියද්දි ගමේ කට්ටිය කිව්වෙ උගු කියල.. ඒක හරියට ඇන්ඩෘ අන්දරේ උනා ඩේවිඩ් දාවිත් උනා පීටර් පීතර උනා වගේ වැඩක්.. සිඤ්ඤො කෑල්ල ඉස්සර කට්ටිය පාවිච්චි කොරපු නික් නේම් එකක් ලුනෙ..
මම කියන්න යන්නෙ අපේ තාත්ත ගැන..මේකෙන් මම තාත්තට හොඳක් කියන්නවත් නැත්තන් නරකක් කියන්නවත් උත්සාහ නොකර මම ඔහුගේ දැක්ක යම් යම් චර්යා රටා ටිකක් කියන්න උත්සහ ගන්නෙම්..
අපේ තාත්ත නාවිකයෙක්. ගෙදර ඉන්නෙ බොහොම කලාතුරකින්. මම ඉපදුනේ අප්‍රියෙල් පලවෙනිද දවසක ( ඔව් ඔව් මෝඩයගෙ දවසෙ තමයි )මම ඉපදෙද්දි තාත්ත ඉදල තියෙන්නෙ නැවක.අක්කට පස්සෙ තාත්ත ලොකුවට බලාපොරොත්තු තියන් ඉදල තියනව කොල්ලෙක් ගැන. ඉතින් අම්ම මම ඉපදුනු බව තාත්තට දන්නල තියෙන්නෙ ලෙටෙග්‍රෑම් එකකින්. ඒ කාලෙ ටෙලෙෆෝන් හිගයිලු. ඒත් එයාට මේක ශුවර් මදිලු. ඇයි දවස හොඳ නැහැනෙ. ඉතින් අම්ම මගෙ අහවල් එක පේන්න පොටෝ එකක් අරන් නැවට යවල. එදාලු තාත්ත හරියටම පිලි ගත්තෙ. ( ඒ පොටෝ එක තාම මං ලග තිබේ)
අපේ තාත්ත කලුම කලුයි. කොන්ඩෙ හීන් කැරලි බොකුටුයි. හයේ හතරෙ පොරක්. ( උඹල හිතුව හරි.. කලු අප්‍රිකන් කාරයෙක් වගේ තමයි ) අපේ අම්ම සුදුයි ලස්සනයි. ඒ දවස් වල ඇරපු අතක් නෑ ශ්‍රියානි අමරසේන වගේ. තාත්තයි අම්මයි එකට ඉද්දි කපුටයි තැබිලි ගෙඩියයි වගේ. ඒත් මම ඉස්සර අම්මට විහිලු කරනව ඇස් වල දෝසයක් තිබ්බද කියලත්.
අපේ ගෙවල් පැත්තෙ තිබ්බෙ කතෝලික පරිසරයක්.තාත්ත රට හිටපු හින්දද මන්ද ඒ දවස් වල ගෙදර ආවොත් අහන්නෙම ඇබා, බොනියම් වගේ බටහිර ගීත.තාත්ත බොනියම් එකේ බොබී ෆරෙල් (අර වඳුරු ඩාන්ස් එක දාන කොල්ලට ) හරි ආසයි. ඒක ටිකක් අපේ තාත්තත් වගේ. ( .. ඌ තරං තාත්ත කැත නෑ.)කාලයක් තාත්ත කොන්ඩෙ එහෙමත් හදාගෙන හිටිය ඒ වගේ.
මට මතක ඇති කාලෙ ඉස් ඉස්සෙල්ලම තාත්ත රට ඉදන් එනකොට ( මට අවු.4ක් විතර ඇති ) මම හිටියෙ සාලෙ බිම චිත්‍රයක් ඇද ඇද. තාත්ත එයාපෝට් ටැක්සි කාර් එකක (ඉස්සර තිබ්බෙ කාර්)බැස්සෙ. ලොකු 70ස් 80ස් ඒවියේටර් සන් ග්ලාසස් 2ක් දාල, ආර්ම් කට් හිපි ස්ටයිල් ටී එකක් ගහල, කොන්ඩෙ බොනි එම් කට් එකට ලොකු කපුටු කූඩයක් වගේ වවාගෙන කැමල් බූට්ස් 2ක් දාල ( තාත්ත මැරෙනකම්ම දැම්මෙ කැමල් සපත්තු ) ලොකු ඩෙනිම් බෙල් කොටං ( බෙල් බොටම්) එකක් ගහල අතේ කරේ සුදු යකඩ දම් වැල් ටිකකුත් දාලයි බැස්සෙ. මම දුවල ගිහින් කුස්සියෙ හිටිය අම්මට කිව්ව අම්මෙ කවුද යකෙක් වගේ අන්කල් කෙනෙක් ගෙදරට ඇවිල්ල කියල. අම්ම මාවත් වඩාගෙන සාලෙට ඇවිල්ල හයියෙන් හිනා වෙලා " මේ තාත්ති පුතේ තාත්ති" කිව්ව මට අද වගේ මතකයි. මට එදා තාත්තව අඳුන ගන්න බැරි උනා මචංස්.
අපේ ඉස්කෝලෙ ගුරු දෙගුරු රැස්වීමක් තිබ්බොත් තාත්ත ලංකාවෙ නැති නිසා එන්නෙම අම්ම. අම්ම සාරිය ඇදල සුරංගනාවියක් වගේ හවසට එනකං මම බලාගෙන ඉන්නව. ඒත් තාත්ත ලංකාවෙ ඉන්න දවසට එන්නෙ එයා.තාත්ත එන දවසට මම හවසට බලං ඉන්නෙ බඩේ ගින්දරින්. ඇයි ඇදං එන්නෙම හොලිවුඩ් නලුවෙක් වගේ මහ  පුදුමාකාර ඇඳුම්. එක දවසක් තාත්ත ආව එයාගෙ ලොකු හොන්ඩ බෙන්ලි 150යෙ නේවි බ්ලූ එකට සිල්වර් කලර් බිංදු බිංදු වැටිච්ච අත් දිග ශර්ට් එකයි බ්‍රවුන් පාට ඉරි ටයිට් කලිසමයි ගහල පපුව පේන්න උඩ බොත්තං ඇරල එයාගෙ ක්‍රොස් එකත් එක්ක රත්තරන් චේන් එක දාල ට්‍රේඩ් මාක් සනිය සහ සපත්තු 2 දාල. මම ඒක දැකල ටිකක් දුර දුවල ආයෙ ආව හිත හදාගෙන.
අපේ තාත්තට බිව්වම ශුද්දාත්මයො පහල වෙනව ( කතෝලික අය දන්නව ඇති කෙනෙකුට ශුද්දාත්මයො පහල උනාම අන්‍ය භාශා වලින් කතා කරන්න පුලුවන්) ඒ වෙලාවට අපි කොච්චර සිංහලෙන් කතා කලත් එයා උත්තර දෙන්නෙ ඉන්ගිරිසියෙන් විතරයි.මත ටිකක් බැස්සම තමයි හිමීට සිංහල වචනයක් දෙකක් එලියට එන්නෙ.
අපේ තාත්ත හොඳ කතෝලිකයෙක්..ධර්මයෙ හැසිරෙනවද කියල නං මට හරියටම කියන්න බැහැ.ඒක නිසා "හොඳ " කියන වචනෙ හරිද මන්ද..! ඒත් කොච්චර කන් පාත් වෙන්න බීල හිටියත් කෑමට පෙර අනිවාර්යයෙන් දෙවියන් සිහි කරල බත් පිඟානට කුරුස ලකුණ එහෙම ඇඳල තමයි කෑම ගන්නෙ. එයා ලංකාවෙ ඉද්දි ගොඩක් යන්න කැමති චාරිකාවක් තමයි මඩු හා තලවිල වන්දනා ගමන.මුල් කාලෙ අම්මයි තාත්තයි බෙන්ලි බයික් එකේ තමයි( හරියට විජය-මාලනීගෙ බ්ලැක් ඇන්ඩ් වයිට් ෆිල්ම් එකක වගේ ) මඩු ගිහින් තියෙන්නෙ .
තාත්තගෙ හොඳම යාලුව වුනේ ඉස්සරහ ගෙදර රිචඩ් අංකල් ( දැං ස්වර්ගස්ත වෙලා -බීලම ) එයත් වැඩ කලේ යුරෝපා රටක. ගොඩක් වෙලාවට රිචඩ් අංකල් ලංකාවට එද්දි තාත්ත නෑ. තාත්ත ලංකාවට එද්දි රිචඩ් අංකල් නෑ. දවසක් මේ දෙන්න අහම්බෙන් එකම කාලෙ ලංකාවට එනව. මට මතකයි දෙන්නගෙ මුල්ම හමුවීම.
සර්පයො දෙන්නෙක් වගේ එකට වෙලාගෙන පැය භාගයක් විතර තම තමන්ගේ හමු වීමෙය් සතුට බෙදා ගත්ත.එදා රෑ ගෙවල් දෙකේ ලොකු සාදයක්. රිචඩ් අංකල්ට තිබුනෙ ලොකු ගෙයක්. දොර පලු 4 ඇරියම කොලඹ මීගමු පාරෙ යන ඕනම කෙනෙකුට මුලු සාලෙම පේනව. සාදය අවසන් වෙන්නෙ මහා නර්තනයකින්. ඒකට අපේ තාත්ත රිචඩ් අංකල් යාලු මිත්‍රාදීන්ට අමතරව රිචඩ් අංකල්ගෙ භාර්යාව බේබි නෝන ඇන්ටි දුව (සුදු අක්ක ) පුතා ( අයිය ) වගේම මමත් සහභාගි වෙනව. අපි ඔක්කොම රිකි පනුවො වගේ තාලයක් නැතිව හෙම්බත් වෙනකන් හොඳටම නටනව එදාට. මට මතකයි අම්ම ගේ ඉස්සහර පුටුවක් තියාගෙන අක්කත් එක්ක පාරෙන් එහා පැත්තෙ අපේ මිදුලෙ ඉඳන් හිනා වෙවී බලං ඉන්නව.
හැම දෙයක්ම අංග සම්පූර්න නැති උනත් අපේ තාත්ත පුදුමාකාර මනුස්සයෙක්.වඩු වැඩ මේසන් වැද ඉලෙක්ට්‍රොනික් වැඩ මිකෑනිකල් වැඩ මෙකී නොකී ගොඩක් දේවල් ගැන හොඳ අවබොදයක් තිබ්බ මල්ටි ටැලන්ටඩ් මනුස්සයෙක්. අම්ම උනත් අදටත් කියන්නෙ තාත්ත තරම් දක්ශ පිරිමියෙක් මුලු ගමේවත් හිටියෙ නැතැයි කියාය. ජීවිතයේ හැම දෙයක් ගැනම හැම අතින්ම පරිපූර්න නොවුනත් එයා සිංහලෙන්ම කියනවනං යුනික් කැරැක්ටර් එකක්. මේක කියවන ඔයාලට තාත්ත සහ මම අතර පොඩි හිස් තැනක් තියනව වගේ හැගුනනං ඒක බොරුවක් නෙවේ . නමුත් තාත්තට මගේ හිතේ තියන ගෞරව භක්තියේ තරම මේ ලිපියෙන් ඒත්තු ගන්නන්නට බැරි වීම ගැන මම හැමෝගෙන්ම සිය දහස් වාරයක් සමාව ඉල්ලනවා.

Tuesday 20 August 2013

Part Time Lover - දෙවන දිගහැරුම




"ගිම්හාන්"  මා ඇය දෙස බැලීය .


ඇගේ දෑසේ කඳුළු කැට මුව දිගේ රූරා වැටෙමින් තිබුණි. ගැහැනුන් පුදුමාකාරය .විටෙක සතුට දෝරෙගලන ඇගේ මුව කඳුලෙන් තෙමා ගන්නට ඇයට ගත වන්නේ නිමේෂයකි .මෙය මා දුටු සියලු ගැහැනුන්ට පොදු වූ ගුණාංගයකි .එනිසාම නෙලුම්ගේ දෑසේ කඳුළු මා මවිත නොකලාය .


"ඇයි නෙලුම් ? මොකක්ද ප්‍රශ්නෙ. ඔයා කියන්න .. අපි බලමු මොකක්ද කරන්න පුළුවන් කියල ." ඈ ලඟින් වාඩිගත් මම ඇගේ සුරත මා දෑතට ගෙන පිරිමදිමින් ඇය සනසාලන්නට උත්සහ කලෙමි . කඳුළු අතරින් ඇය තමන්ගේ ශෝකාලාපය පැවසීමට පටන් ගත්තාය .


" මට තවත් මෙලාන් එක්ක ඉන්න බෑ ගිම්හාන් . මෙලාන්ට ඕනෙ සල්ලි විතරයි . මම උදේ ඉඳං දහදුක් විඳලා හම්බ කරන හැම සතයක්ම ගන්නේ මෙලාන් . ඒ සල්ලි මෙච්චර කල් ගියේ එයාගෙයි මගෙයි joint account එකකට . මම ඊයෙ ලංකාවට කතා කළා . අම්ම කියනව තාත්තගෙ අසනීපෙ එන්න එන්නම වැඩි වෙනවලු .  ඩොක්ටර්  bypass එකක් කරන්න කියල  පුළුවන් ඉක්මනට . private කරනවානං ලක්ෂ 8 ක් වත් යනවලු ගිම්හාන් . අපි ලොකු සල්ලි කාරයෝ නෙමෙයි ගිම්හාන් . අපි කොළඹ ජීවත් උනාට හොඳ ඉස්කෝල වලට ගියාට අපිටයි කියල ගෙයක්වත් අපිට නැහැ ගිම්හාන් . අපි හැමදාම හිටියේ කුලී ගෙවල් වල . අම්මල තාත්තල ඉතුරු කරපු දෙයක් නැහැ ගිම්හාන් අපිට කන්න බොන්න දීල ඉගැන්නුව  ඇරෙන්න . අම්මට හොයා ගන්න පුළුවන් ලක්ෂ 3 යි ලු රත්තරන් බඩු වික්කත් .  මම අම්මට ඉතුරු ලක්ෂ 5  දෙන්න පොරොන්දු උනා මම වැඩ කරලා හම්බ කරපු සල්ලි වලින් . ඒත් ඊයෙ මම Bank Account එක චෙක් කරද්දී එකේ තියෙන්නෙ ඩොලර් 500 යි . මම මෙලාන්ගෙන් මගේ සල්ලි ඇහුව. එයා ඒව එයාගේ අම්මට යැව්වලු. සල්ලි නැහැ ලු . මම සල්ලි ඉල්ලුව . මම කෑ ගහල ඇඩුව මගේ සල්ලි දීපන් කියල . මගේ අහිංසක තාත්තව බේර ගන්න ඕනෙ කියල . එයා ට මගේ සල්ලි දෙන්න බැහැ ලු . හිතේ වේදනාවට මම එයා එක්ක වාද කළා  .  අන්තිමට එයා මට හොඳටම ගැහුව. ලස්සනට රැවටිලා නිකම්ම නිකම් මාව කරගහගෙන මේ රටට අරන් ආව මදිවට දැන් අපේ ගෙදරටත් වියදම් කරන්න බැහැ කියල මෙලාන් මාත් එක්ක රණ්ඩු උනා ගිම්හාන් . මම දන්නැහැ මම මොනාද කරන්න ඕනෙ කියල ගිම්හාන් .මේ රටේ මෙලාන් එක්ක මැරී මැරී එකට ජීවත් වෙනව ඇරෙන්න මට වෙන කරන්න දේකුත් නැහැ . මට මේව අම්මලට කියන්න බැහැ ගිම්හාන් . එයාලට තියන ප්‍රශ්න ඇති . මම තනි වෙලා ..මම හරිම අසරණයි ගිම්හාන් . ඔයාවත් හිටියේ නැත්තන් මට මේව කියන්න කෙනෙක්වත්  නැහැ ගිම්හාන් . "


එක දිගට රූරා ඇද හැලුණු කඳුළු ගංගාව අතරින් නෙලුම්ගේ මුවින් පිටවුනු ඇගේ කඳුළු කතාව අවසාන වනවාත් සමගම නෙලුම් මාගේ උරහිසට බර වී මගේ ලය මත ඇගේ හිස හොවා ගත්තාය .  මා ඇය අස්වසාලනු වස් මිනිත්තු කිහිපයක් ඇය මගේ ලයෙහි හොවා හිස පිරිමැද සනසාලුවෙමි.


මාගේ ලයට මුහුණ හොවාගෙන සිටි නෙලුම්ගේ දෑසින් ගලා ගිය කදුළු වල සීතල මා ඇඳසිටි කමිසය තෙමමින් ගලා යනු දැනේ . ඇය තවමත් මාගේ පුළුල් උරතලයේ මුහුන හොවා සිටී.  නෙලුම් ගැන උපන් අනුකම්පාවකින් හදවත ගිලී යනු දැනේ . මා ඇයට උදව් කල යුතුය . එය එසේ විය යුතු  යුතුයැයි හදවත හඬගායි  . නැවතත් , නැවත නැවතත් පෙර කල වරදම සිදු වෙමින් පවතින බව මට හැගේ . සුපුරුදු ලෙසම හදවත බුද්ධිය පරයා ජය ගනිමින් සිටී . ගැහැනියගේ කඳුළු පුදුමාකාරය .එය පිරිමින් තමන් කෙරේ ඇදබැද තබා ගැන්මට දෙවියන් විසින් ගැහැනුන්ට දුන් බලගතු  අවියක් වැනිය . පහුගිය කාලය පුරාම ඈ කෙරේ මා තුල හට ගත් පැහැදීම , ඒ විශ්වාසය, ඒ මිතුදම වෙනුවෙන් නෙලුම් වෙනුවෙන් මා යමක් කල යුතුය .


" නෙලුම් .. මම ඔයාට ඉතුරු සල්ලි ටික දෙන්නං.. ඔයා තාත්තගේ ඔපරේෂන් එක ලැස්ති කරන්න ."


මා දෙස පුදුමයෙන් බලා සිටි ඇය කඳුළු පිසදා හඬ අවදි කාලය .


"ගිම්හාන් .. මම ඔයාට කතා කරන්න ඕන කිව්වෙ මගෙ ප්‍රශ්න කියල හිත සැහැල්ලු කර ගන්න . එහෙම නැතුව මගෙ ප්‍රශ්න ඔයාගේ කරේ තියල ඔයාටත් බරක් වෙන්න හිතන් නෙමෙයි . මම එහෙම උදව්වක් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නැහැ ."


"ඒක මම දන්නවා නෙලුම් .. මම උදව් කරන්නේ කැමැත්තෙන් . ඒක නිසා ඔයා ඒ ගැන වැඩිය හිතන්නෙ නැතුව තාත්ත ගැන බලන්න ."


"ඒත් මේ සල්ලි මට ආපහු ඉක්මනට ගෙවන්න නං බැරි වේවි ගිම්හාන් "


"ඉස්සල්ල ඔයා තාත්ත සනීප කරන් ඉන්න . ඒ ගැන අපි පස්සේ කතා කරමු . "

නැවතත් මා ලයට තුරුළු වූ ඇය ඇගේ ඉකිගැසුම් හඬ අවදි කාලය .


" මට මෙලාන්වත් කරන්නේ නැති උදව්වක් ඔයා කරන්නෙ..  ඔයාට තරම්වත් මෙලාන්ට මං ගැන හැගීමක් නැහැ ගිම්හාන්.. මගෙ කියල කවුරුත් නැති රටේ ඔයත් හිටියෙ නැත්තන් මම දන්නැහැ මම මොනා කරන්නද කියල ගිම්හාන් "


ඈ තව තවත් මා ලයට උණුසුම් වනු දැනේ . කෙමෙන් ගතට උණුසුම් වන නෙලුම්ගේ ඒ දිදුලන දෑසේ බන්ධනයෙන් නැවතත්  මා නෙතු දැහැන් ලිහී යනු දැනේ .හෙමින් උරතලය පුරා සතපවමින් තෙරපමින් ඇගේ නාරි ලතාවන් මා වෙලා ගනු දැනේ . සීතල සිහින නගරයේ තැන තැන විකසිත පොයින්සෙටියා මල් පෙති වන් ඇගේ දිගටි ලවනත් පෙති මා වතට ලං කල ඈ මා මුව චුම්භනයකින් උණුසුම් කලාය.


සුළඟ නිම් හිම් නැතුව කුටිය වටා සැරිසරනු දැනේ . සීතල වැසි බිඳු සුළඟ සමග පොර බදමින් කලබලයෙන් කුටියේ දොරට හඬ තලනු ඇසේ. සීතලට ගුලිගැසී වෙවුලන රුක් ගොමු කොලමල් විසුරමින් සලිතවනු ඇසේ.අප වටා කැරකෙන මේඝයන් වරින් වර ගුගුලමින් විදුලි එලි දල්වනු පෙනේ . කුටියේ සිසිලසට තව තවත් තෙරපෙන ඇයගේ සිරුරේ උණුසුම ගත ගිනියම් කරනු දැනේ . මලානික මේස පහනේ පනගැහෙන එලියෙනුදු දිදුලන ඈ වත , ඈ ගත අඳුර පරයා කුටිය පුරා  දිලුම් දෙයි. යහනේ සතප්පවා ළඟ ලඟින් උණුසුමට තෙරපෙන ඇගේ, ග්‍රීවය මත මා තැබූ චුම්භන , ඈ තව තවත් මා වෙතම ලං කළාය . ඈ ගතින් හමන මුවරද මිශ්‍ර රෝස සුවඳින් , යහන මත තැබූ සුවඳවත් පියුමකින් ඔද වැඩුණු බඹර රෑනක් සේ, මසිත රාගී සිතිවිලි කුටිය පුරා පියඹවන්නට වීය .


මා, ධූසර පැහැයෙන් යුත් ඇගේ කලව දක්වා දික් වූ ගත සිඹින ගවොමද ,දිගු පායුග දිගේ ඇදී පුළුල් නිතඹ වැසූ කාල වර්ණ මේස් කලිසමද , දිගු හම් සපත්තු යුගලද විනිවිද දකිමින් , මාගේ පිරිමි ඇස් ඇගේ දිගම්බර ගත දිගේ එහෙ මෙහේ දිවවීය .


" What are you looking at ? "


ඒ දිදුලන දෑසින් නැවත මා වෙත මුදු සිනහවක් පා ඈ මට රහසින් කොදුලාය .


"ඔයාගේ ලස්සන  " ඈ මුව වෙත ලංව රහසින් පැවසු මම  ඇය චුම්බනයකින් උණුසුම් කලෙමි .


පටින් පට ලිහී ප්‍රභාමත් වූ ඇගේ රන්වන් පයෝධර තුරුලේ උණුසුම් වූ මාගේ ගිනියම් ගත සිත, ඈගේ ගත සිත එකිනෙක යා කරමින්, එකිනෙකාගේ තුරුලේ මිරිකෙමින් තෙරපෙමින් ද , විටෙක සිත අතැර ඔබමොබ සැරිසරන සියලු අකීකරු සිතිවිලි රාගී වරපටෙන් වෙලමින්ද , වරින් වර මා වත මත දඟකළ ඇයගේ අකීකරු  කියඹු වැල් මෙන්ම, සිතිවිලිද, පැන යා නොහැකි සේ බැඳී ඈ මා ගත සිය ගතට තද කොට දෑතින් වෙලා ගත්තාය. තාලයට සැලෙන තිසර පහසින් සැනසෙන, මාගේ සලෝම උරතලය වෙලා රඟන, ඈගේ පුළුලුකුලේ පහසින් ගිනියම් වූ ගත නුරාගිනි නිවමින් දඟකළ, මේ රැගුමෙහි දක්ෂ නිතම්බනිය ගේ පහසින් නිවී ගිය පවස ගත සිත නිවමින් ගැබුරු  සුසුමින්ම සන්සිදුනේය.තවමත් මා පහසේ දෑස් පියා සිටි නෙලුම් දිගු සුසුමක් හෙලා මා දෙස බැලීය .


"I love you Gimhan " ඈ කොදුලාය.


" මම දන්නව මම එහෙම කියන එක අසාධාරණයි කියල.මම දන්නව මට ඔයාව කවදාවත් මගේ කර ගන්න බැහැ කියල ගිම්හාන්.ඒ ඇත්ත නොතේරෙන මෝඩ ගෑනියෙක් නෙමෙයි මම. ඒත් මුල ඉඳන්ම  මට නැති වෙලා හැමතැනම හොයපු ඒ ආදරේ ඔයා ළඟ තිබුන ගිම්හාන් .මෙලාන්ගෙන් මම හැමදාම ඉල්ලුවෙ ඒක දෙයයි .. මට ආදරේ කරන්න කියල විතරයි. නමුත් එයාගේ හිතේ එහෙම අබමල් රේණුවක තරම්වත් ආදරයක් මම ගැන නැහැ ගිම්හාන් . "


කිව යුත්තේ කුමක්දැයි මට නොතේරේ.මා ඇයට ආදරය නොකරන වග ඉතා පැහැදිලිය .ඇත්තේ ඒ නොසිඳෙන ආශාවම පමණය.ගැහැනුන්ට ආලයකින් තොර බන්ධනයක් නැත්තේමය.ඒ වෙනුවෙන් සියලු දේ කැප කරනට සියලු නින්දා අපහාස දහසකුත් එකක් ගැරහුම් විදීමට ඇයට හැකිය.


"අපි ගෙදර යමු නෙලුම් ." ඈ වෙත සිනහවක් පෑ මම ඇයට පැවසුවේය .


" ඉන්න ගිම්හාන් මෙලාන්ට කෝල් එකක් දීල බලන්න ඕනෙ . "  මා පපුව මත ඇඟිලිතුඩු තාලයට යවමින් ඈ පැවසුවාය .


මා ඇයට දොස් පවරන්නේ නැත. මා වැනිම තවත් පිරිමියකුගේ ප්‍රියාදර බිරිඳකගේ තහනම් පහස විඳි මාද වරදේ හවුල්කරුවෙකි .  බිරිඳක ලෙස නෙලුම් නොරැකි පතිවත , ඒ විශ්වාසය ප්‍රශ්න කිරීමේ අයිතියක් මට නැත්තේමය . සියලු වරදෙහි පොලඹා මුල සිටම හිත් රැඳී, නෙලුම් මා සතු කර ගැනීමේ ආසාව මා මේතාක් ඇයට ලන්වන්නට හේතු වූ බව මා දනී . ඇයගේ ගැටළු මාගේ වාසියටම හරවා ගන්නට සැලසුම් ඇඳී මා හට ඇය විනිශ්චය කිරීමේ අයිතියක් නැත්තේමය .


දුරකථන ඇමතුම නිම කල ඈ යහනෙන් බැස කුටියේ තැන තැන උනා දැමී ඇයගේ සළුපිලි එකිනෙක හැඳ ගන්නට වීය .


"  මෙලාන් වැඩ ගිම්හාන් . මම මොකටත් කියල කෝල් කරලා බැලුවෙ. එයා එන්නෙ පාන්දර . අපි යමු . "


මම නෙලුම් ද සමඟ ඇයගේ නිවසට රථය ධාවනය කලෙමි . ඈ නැවතත් නිහඬය . වදරකාරී හැගීම් හිත වසාගෙන හිතට වද දෙනු දැනේ . නෙලුම්ගේ නිවස අසල අඳුරු බ්ලොසම් ගස යට රථය නැවතූ මා ඈ දෙස බැලීය .


" මම යන්නං ගිම්හාන් . හෙට කෝල් එකක් දෙන්නං . love you " ඈ නැවතත් මාගේ මුව සිප ගත්තාය .


නෙලුම් නිවසට යන තුරු රැඳී සිටි මා නැවතත් වාසස්ථානය බලා ගමන් ඇරඹීය . වියවුල් වූ සිතුවිලි සිත දවමින් වධ දෙයි. නිවසට ඇතුළු වූ හඬින් අවදි වූ දේවක මා ඉදිරියට පැමිණියේය .

"කොහෙද බන් ගියේ මේ මහා රෑ? ෆෝන් එක වැඩ කරන්නෙත් නැහැ . උබ වෙනදට එලියට යනවනං මට මෙසේජ් එකක් තියනව නෙ." දේවක අසන ප්‍රශ්න වලට දිවයුතු පිළිතුරු මොනවාදැයි මම කල්පනා කලෙමි .



Part Time Lover - දෙවන දිගහැරුමේ නිමාව

Sunday 18 August 2013

Part time lover - පළමු දිගහැරුම .





වෙලාව රාත්‍රී හයයි තිහයි . අඳුර වෙනදාටත් පෙරම මෙල්බර්න් නගරය සොයා පැමිණ ඇති සේය. හිරිගඩු පිපෙන ජුලි සීතල හැන්දෑවේ ගණ ලොම් කබායකින් උණුසුම් වූ මම කාරයට ගොඩ වී රථය පන ගැන්වීය. නිවසේ සිට Chandston දුම්රිය ස්ථානයට ඇත්තේ විනාඩි පහළොවක් තරම් දුරකි .වියවුල් සිතිවිලි හිත කළඹමින් හිතට වද දෙයි . පොද වැස්ස අතරින් මම රථය ඉදිරියටම ධාවනය කලෙමි . දුම්රියපල පෙනෙන මානයට මම ලඟා වන විට වෙලාව සවස හත කිට්ටු කර තිබුණි . සීතලට පිපෙන බ්ලොසම් මල් පිරුණු ගස් වලින් හැඩ වුනු අතුරු පාරකට රථය හරවූ  මම අඳුරු බ්ලොසම් ගසක්  යට රථය නතර කලෙමි . පොද වැස්ස දැන් මහා වැස්සකි. සුළඟට හැලෙන බ්ලොසම් මල් පාර පුරා රතු රටා මවමින් සීසීකඩ විසිර යයි .



"හෙලෝ නෙලුම් "


"හෙලෝ ගිම්හාන්..ඔයා ඇවිල්ලද ඉන්නෙ "


"ඔව්.. ඔයාලගෙ ගේ පේන මානෙ නතර කරන් ඉන්නෙ . ඔයා කොයි හරියෙද දැන් "


"අනේ ගිම්හාන් ..අද ටිකක් busy දැනුයි Flinder Street වලින් train එකට නැග්ගෙ.. තව පැය බාගයක්වත් යයි කමක් නැද්ද ?"

"ඔයා හිමීට එන්න .. මම ඉන්නං "

"හරි ..මම ඉක්මනට එන්නං..දැන් Cut වෙයි . Tunnel එකේ ඉන්නෙ .. ඔයා .... "


"බීප්... බීප්... බීප්..." නෙලුම්ගේ දුරකථනය විසන්ධි  විය.


මෝටර් රථයේ එන්ජිම ක්‍රියා විරහිත කල මම අසුනට බර වී කල්පනාවක ගිලුණි.


"නෙලුම් " ... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්ත්‍රීත්වය උතුරායන  පියුමක්මය. ඇය හා මාගේ මුල්ම හමු වීම මීට මාස කිහිපයකට  පෙර සිදුවිය. ඇය, මාගේ නිවසේ මා හා වෙසෙන මගේ මිතුරු දේවකගේ යෙහෙළියකි . සති අන්ත විනෝද චාරිකාවකට ඇයත් අප සමග විනෝද චාරිකාව යාමට ආරාදනා ලැබ තිබුණි.


"This is nelum.. one of my best friends,  Melan's wife. Melan is at work today . So he has decided to send Nelum to join our trip"


"Nelum .. This is gimhan, my house mate"


" Hello.. nice to meet you."


සිනහවෙන් දිදුලන දෑසෙන් මා දෑස දෙස එක එල්ලේ බලා ඇය මට අතට අත දුනි.


"nice to meet you too "


ඇයගේ දිදුලන දෑසේ මිතුදමට වැඩි ආරාධනාවක ඉඟියක් ඇති බව මට හැගේ.


ගැහැණියට මම ඉතා ප්‍රිය වෙමි.  කුඩා දරුවෙකු සමනලුන්ට , කුරුලන්ට  ප්‍රිය යම් සේද..එලෙසම මම ගැහැනුන් ප්‍රිය කලෙමි. එය කෙනෙකුගේ කටෝර නිර්වචනයක් හමුවේ බාල්දු වන , ශිෂ්ට සමාජ රාමු හමුවේ කූඩුවන සිතිවිල්ලක් වුවද ස්වාභාවදර්මයෙන් පිරිමින්ට උරුමකර දී ඇති සේම මම ගැහැනුන් දැඩිව ප්‍රිය කලෙමි. ඔවුන්ගේ මෘදු ලාලිත්‍යයට , පිරිමින්ට වඩා සියුමැලි කවාකාර හැඩතල ඇති අඟපසඟට , සුළඟ මෙන් නිතර වෙනස් වන ගති පැවතුම් වලට .., මේ සියලු දෙයින් පරිපූර්ණ මේ අපූරු සත්වයාට මම දැඩිව ප්‍රිය කලෙමි.


සීතල හිමෙන් වැසුණු bullar කඳු මුදුනේ තවත් එක් හිම තුහිනයක්‌ මෙන් සුසුදු පියකරු නෙලුම් මා හා කෙළිදෙලෙන් ගෙවූ ඒ දිනය අවසානයේ අප සමීප මිතුරන් බවට පත්ව තිබුණි . ඒ මිතුදම එකිනෙකාගේ දුරකථන අංක හුවමාරු කර ගැනීමට තරම් මුහුකුරා ගොස් තිබුණි. මෙල්බර්න් නුවර සුප්‍රකට කෝපි අවන්හලක අවන්හල් සේවිකාවක් වූ ඇය හමුවීමට මට වැඩි පරිශ්‍රමයක් දැරිය යුතු නොවීය. ඒ අවසරයෙන් නිතර අවන්හලට ගොස් ඇයගේ අතින් කෝපි කෝප්පයක් පානය කර ඇය සමඟ පොඩි කතාබහක නිරත වූ මා හා ඇයගේ මිතුදම දින සති ගෙවී යද්දී දළු ලා වැඩෙමින් තිබුණි. සියල්ල මෙලෙස සිදු වෙද්දී මා නිවසේ මා හා එකට වසන මා මිතුරු දේවකගෙන් මේ මිතුදම වසන් කරන්නට මා කල්පනාකාරී වූයේ මෙය හුදෙක්ම මිතුදමට වැඩි යමකට කල ආරාධනයක් යයි මට හැඟී ගිය නිසාවෙනි.


මෙල්බර්න් නුවර මාගේ රැකියා ස්ථානයට යාබදව පිහිටි ඇයගේ කෝපි අවන්හලට සුපුරුදු පරිදි ගොඩ වූ මට අද මා වෙත එන නෙලුම්ගේ මුහුණේ යම් වෙනසක් පෙනුනි. ඇයගේ සුසුදු කම්මුල් තඩිස්සි වී රතුපහ ගැන්වී තිබුණි. ඇස් ඉදිමී බිමට බරව තිබුණි .කෝපි කෝප්පය රැගෙන මා අසලට පැමිණි ඇය මා දෙස කෙලින් නොබලා දෑස් බිමට හරවාගෙන සිටියාය.


" Hey, are you alright Nelum? "


"Yes, Im allright .. Gimhan, I want to talk with you, tonight after work. Would you be able to come near to my house and wait at about seven thirty tonight."


" Yeah sure.. But what about Melan"


"He won't be there tonight. He got work tonight."


"Okey.. Will meet you up then. But are you all right Nelum?"


"Yes... I'm fine..Need to go now.. Bit busy."


" OK. See you soon then. Take care. Bye."


බිමට යොමාගත් දෑසින් යුතුව මා හා කෙටි පිළිසඳරක යෙදුනු ඈ නැවතත් ඇගේ රාජකාරි කටයුතු වලට දිව යද්දී සිදුවන්නේ කුමක්දැයි වටහාගත නොහැකිව මා අවන්හලෙන් පිටවිය.


රථයේ ජනේලයට තට්ටු කරන හඬින් කල්පනා ලෝකයෙන් මිදුණු මා ඇස් අර බැලීය. කුඩයක්ද අතින් ගත් නෙලුම් රථයේ දොර අසල සීතලට ගුලිගැසී බලා සිටී.


"නගින්න වාහනේට " රථයේ දොරගුළු විවර කරමින් මම ඇයට පැවසීමි. දැඩිව ඇදහැළුණු වැස්සේම දිවවිත් ඇය රථයේ ඉදිරි අසුනේ ඉඳගත්තාය.


" මොකද නින්ද ගියාද ?' ඇය සිනාසෙමින් මා දෙස බලා සිටි.


" නෑ ,පොඩ්ඩක් ඇහැ පියාගෙන හිටිය ඔයා එනකන්."


" ගිම්හාන් ..මට ඔයත් එක්ක පොඩ්ඩක් තනියෙන් කතා කරන්න ඕනෙ. අපි කොහාට හරි යමු ටිකක් කතා කරන්න."


"අපි  dinner ගන්නත් එක්ක restaurant එකකට යමු නෙලුම්."


"බෑ.. මට සෙනග නැති තැනක ඉඳං ඔයත් එක්ක තනියෙන් කතා කරන්න ඕනෙ ගිම්හාන්."


රථය පන ගන්වූ  මා එය ඉදිරියට දාවනය කරන්නට පටන් ගත්තේය .සීතලට ඇදහැලෙන වැස්සේ රථය ඉදිරියට දාවනය වුවද වදනකුදු  මුවින් පිට නොකළ ඈ කවුළුවෙන් එපිට ඇදහැලෙන වැස්ස දෙස හිස් බැල්මක් යොමා සිටි . මා රථය , අසල තිබූ ලැගුම් හලක් වෙත හරවා නැවතිය.


"නෙලුම් , ඔයා කාර් එකේ ඉන්න . මම රූම් එකක් රිසව් කරගෙන එන්නම්."


"මුවින් වදනක් පිට නොකළ ඈ හිස වනා එයට එකඟ වීය."


රථයෙන් බැසගත් මම තානායමට පියවර නැගුවෙමි.


සියල්ල සිදුවෙමින් තිබුනේ සපල කරගන්නට පෙරුම්පුරමින් තිබූ යම් සැලසුමකට යැයි හැගේ.නමුත් සිතිවිලි තවමත් වියවුල්ය . කලින් කලට හමු වූ පෙම්වතියන්ගේ ආදර  ප්‍රේමවන්තයාගේ චරිතයට පන පොවා අත්දැකීම් තිබුනද මේ නම් මෙතුවකට නොකළ අලුත්ම චරිතයක්ය. සිදු නොකළ යුතු රංගනයක්ය .සිදු නොවිය යුතු නාටකයක්ය  . මා කරන්නේ වරදක්ය . වරින් වර ඒ හැගීමෙන් හිත කැළඹෙයි . නෙලුම් විවාහක කාන්තාවකි. ඇය මා වැනිම තවත් එක් පිරිමියකුගේ බිරිඳය. මා මෙන්ම අනාගතය ගැන සුබ  සිහින දකින මා මෙන්ම සිතුම් පැතුම් ඇති මාගේ සම වයසේ පිරිමියකගේ ආදර ප්‍රියම්භිකාවය.  සිදුවිය යුත්තේ ඇය සමඟ කාමරයක තනිවීම නොවේය . සිදුවිය යුත්තේ කුමක් වුවද ඒ දැන් සිදුවෙමින් පවතින දේ නොවේය .


සියල්ල එසේ වුවද සියලු තර්ක විතර්ක යටපත් කර පෘතග්ජන මිනිස් සිතේ සියලු සුසිරිත් පාගා  නැගෙන පාපතර හැඟීම් වලින් සිත පිරි යමින් තිබුණි . තානායම් කාමරයේ යතුර ගත් මම නෙලුම්ද සමඟ කුටියට ඇතුල්වීය .කාමරයට ඇතුල් වූ ඇය විශාල සුවපහසු ඇඳමත වාඩිවූවාය .


"ගිම්හාන්" මා ඇය දෙස බැලීය .


Part time lover - පළමු දිග හැරුමේ නිමාව .