Monday 12 October 2015

අපේ තාත්ත ගැන



මම උගුසිඤ්ඤො.. .උගුසිඤ්ඤො කියන්නෙ ඇත්තම කිව්වොත් අපේ සීය.. එයාගෙ ඇත්තම නම හියුගෝ එක සිංහලෙන් කියද්දි ගමේ කට්ටිය කිව්වෙ උගු කියල.. ඒක හරියට ඇන්ඩෘ අන්දරේ උනා ඩේවිඩ් දාවිත් උනා පීටර් පීතර උනා වගේ වැඩක්.. සිඤ්ඤො කෑල්ල ඉස්සර කට්ටිය පාවිච්චි කොරපු නික් නේම් එකක් ලුනෙ..
මම කියන්න යන්නෙ අපේ තාත්ත ගැන..මේකෙන් මම තාත්තට හොඳක් කියන්නවත් නැත්තන් නරකක් කියන්නවත් උත්සාහ නොකර මම ඔහුගේ දැක්ක යම් යම් චර්යා රටා ටිකක් කියන්න උත්සහ ගන්නෙම්..
අපේ තාත්ත නාවිකයෙක්. ගෙදර ඉන්නෙ බොහොම කලාතුරකින්. මම ඉපදුනේ අප්‍රියෙල් පලවෙනිද දවසක ( ඔව් ඔව් මෝඩයගෙ දවසෙ තමයි )මම ඉපදෙද්දි තාත්ත ඉදල තියෙන්නෙ නැවක.අක්කට පස්සෙ තාත්ත ලොකුවට බලාපොරොත්තු තියන් ඉදල තියනව කොල්ලෙක් ගැන. ඉතින් අම්ම මම ඉපදුනු බව තාත්තට දන්නල තියෙන්නෙ ලෙටෙග්‍රෑම් එකකින්. ඒ කාලෙ ටෙලෙෆෝන් හිගයිලු. ඒත් එයාට මේක ශුවර් මදිලු. ඇයි දවස හොඳ නැහැනෙ. ඉතින් අම්ම මගෙ අහවල් එක පේන්න පොටෝ එකක් අරන් නැවට යවල. එදාලු තාත්ත හරියටම පිලි ගත්තෙ. ( ඒ පොටෝ එක තාම මං ලග තිබේ)
අපේ තාත්ත කලුම කලුයි. කොන්ඩෙ හීන් කැරලි බොකුටුයි. හයේ හතරෙ පොරක්. ( උඹල හිතුව හරි.. කලු අප්‍රිකන් කාරයෙක් වගේ තමයි ) අපේ අම්ම සුදුයි ලස්සනයි. ඒ දවස් වල ඇරපු අතක් නෑ ශ්‍රියානි අමරසේන වගේ. තාත්තයි අම්මයි එකට ඉද්දි කපුටයි තැබිලි ගෙඩියයි වගේ. ඒත් මම ඉස්සර අම්මට විහිලු කරනව ඇස් වල දෝසයක් තිබ්බද කියලත්.
අපේ ගෙවල් පැත්තෙ තිබ්බෙ කතෝලික පරිසරයක්.තාත්ත රට හිටපු හින්දද මන්ද ඒ දවස් වල ගෙදර ආවොත් අහන්නෙම ඇබා, බොනියම් වගේ බටහිර ගීත.තාත්ත බොනියම් එකේ බොබී ෆරෙල් (අර වඳුරු ඩාන්ස් එක දාන කොල්ලට ) හරි ආසයි. ඒක ටිකක් අපේ තාත්තත් වගේ. ( .. ඌ තරං තාත්ත කැත නෑ.)කාලයක් තාත්ත කොන්ඩෙ එහෙමත් හදාගෙන හිටිය ඒ වගේ.
මට මතක ඇති කාලෙ ඉස් ඉස්සෙල්ලම තාත්ත රට ඉදන් එනකොට ( මට අවු.4ක් විතර ඇති ) මම හිටියෙ සාලෙ බිම චිත්‍රයක් ඇද ඇද. තාත්ත එයාපෝට් ටැක්සි කාර් එකක (ඉස්සර තිබ්බෙ කාර්)බැස්සෙ. ලොකු 70ස් 80ස් ඒවියේටර් සන් ග්ලාසස් 2ක් දාල, ආර්ම් කට් හිපි ස්ටයිල් ටී එකක් ගහල, කොන්ඩෙ බොනි එම් කට් එකට ලොකු කපුටු කූඩයක් වගේ වවාගෙන කැමල් බූට්ස් 2ක් දාල ( තාත්ත මැරෙනකම්ම දැම්මෙ කැමල් සපත්තු ) ලොකු ඩෙනිම් බෙල් කොටං ( බෙල් බොටම්) එකක් ගහල අතේ කරේ සුදු යකඩ දම් වැල් ටිකකුත් දාලයි බැස්සෙ. මම දුවල ගිහින් කුස්සියෙ හිටිය අම්මට කිව්ව අම්මෙ කවුද යකෙක් වගේ අන්කල් කෙනෙක් ගෙදරට ඇවිල්ල කියල. අම්ම මාවත් වඩාගෙන සාලෙට ඇවිල්ල හයියෙන් හිනා වෙලා " මේ තාත්ති පුතේ තාත්ති" කිව්ව මට අද වගේ මතකයි. මට එදා තාත්තව අඳුන ගන්න බැරි උනා මචංස්.
අපේ ඉස්කෝලෙ ගුරු දෙගුරු රැස්වීමක් තිබ්බොත් තාත්ත ලංකාවෙ නැති නිසා එන්නෙම අම්ම. අම්ම සාරිය ඇදල සුරංගනාවියක් වගේ හවසට එනකං මම බලාගෙන ඉන්නව. ඒත් තාත්ත ලංකාවෙ ඉන්න දවසට එන්නෙ එයා.තාත්ත එන දවසට මම හවසට බලං ඉන්නෙ බඩේ ගින්දරින්. ඇයි ඇදං එන්නෙම හොලිවුඩ් නලුවෙක් වගේ මහ  පුදුමාකාර ඇඳුම්. එක දවසක් තාත්ත ආව එයාගෙ ලොකු හොන්ඩ බෙන්ලි 150යෙ නේවි බ්ලූ එකට සිල්වර් කලර් බිංදු බිංදු වැටිච්ච අත් දිග ශර්ට් එකයි බ්‍රවුන් පාට ඉරි ටයිට් කලිසමයි ගහල පපුව පේන්න උඩ බොත්තං ඇරල එයාගෙ ක්‍රොස් එකත් එක්ක රත්තරන් චේන් එක දාල ට්‍රේඩ් මාක් සනිය සහ සපත්තු 2 දාල. මම ඒක දැකල ටිකක් දුර දුවල ආයෙ ආව හිත හදාගෙන.
අපේ තාත්තට බිව්වම ශුද්දාත්මයො පහල වෙනව ( කතෝලික අය දන්නව ඇති කෙනෙකුට ශුද්දාත්මයො පහල උනාම අන්‍ය භාශා වලින් කතා කරන්න පුලුවන්) ඒ වෙලාවට අපි කොච්චර සිංහලෙන් කතා කලත් එයා උත්තර දෙන්නෙ ඉන්ගිරිසියෙන් විතරයි.මත ටිකක් බැස්සම තමයි හිමීට සිංහල වචනයක් දෙකක් එලියට එන්නෙ.
අපේ තාත්ත හොඳ කතෝලිකයෙක්..ධර්මයෙ හැසිරෙනවද කියල නං මට හරියටම කියන්න බැහැ.ඒක නිසා "හොඳ " කියන වචනෙ හරිද මන්ද..! ඒත් කොච්චර කන් පාත් වෙන්න බීල හිටියත් කෑමට පෙර අනිවාර්යයෙන් දෙවියන් සිහි කරල බත් පිඟානට කුරුස ලකුණ එහෙම ඇඳල තමයි කෑම ගන්නෙ. එයා ලංකාවෙ ඉද්දි ගොඩක් යන්න කැමති චාරිකාවක් තමයි මඩු හා තලවිල වන්දනා ගමන.මුල් කාලෙ අම්මයි තාත්තයි බෙන්ලි බයික් එකේ තමයි( හරියට විජය-මාලනීගෙ බ්ලැක් ඇන්ඩ් වයිට් ෆිල්ම් එකක වගේ ) මඩු ගිහින් තියෙන්නෙ .
තාත්තගෙ හොඳම යාලුව වුනේ ඉස්සරහ ගෙදර රිචඩ් අංකල් ( දැං ස්වර්ගස්ත වෙලා -බීලම ) එයත් වැඩ කලේ යුරෝපා රටක. ගොඩක් වෙලාවට රිචඩ් අංකල් ලංකාවට එද්දි තාත්ත නෑ. තාත්ත ලංකාවට එද්දි රිචඩ් අංකල් නෑ. දවසක් මේ දෙන්න අහම්බෙන් එකම කාලෙ ලංකාවට එනව. මට මතකයි දෙන්නගෙ මුල්ම හමුවීම.
සර්පයො දෙන්නෙක් වගේ එකට වෙලාගෙන පැය භාගයක් විතර තම තමන්ගේ හමු වීමෙය් සතුට බෙදා ගත්ත.එදා රෑ ගෙවල් දෙකේ ලොකු සාදයක්. රිචඩ් අංකල්ට තිබුනෙ ලොකු ගෙයක්. දොර පලු 4 ඇරියම කොලඹ මීගමු පාරෙ යන ඕනම කෙනෙකුට මුලු සාලෙම පේනව. සාදය අවසන් වෙන්නෙ මහා නර්තනයකින්. ඒකට අපේ තාත්ත රිචඩ් අංකල් යාලු මිත්‍රාදීන්ට අමතරව රිචඩ් අංකල්ගෙ භාර්යාව බේබි නෝන ඇන්ටි දුව (සුදු අක්ක ) පුතා ( අයිය ) වගේම මමත් සහභාගි වෙනව. අපි ඔක්කොම රිකි පනුවො වගේ තාලයක් නැතිව හෙම්බත් වෙනකන් හොඳටම නටනව එදාට. මට මතකයි අම්ම ගේ ඉස්සහර පුටුවක් තියාගෙන අක්කත් එක්ක පාරෙන් එහා පැත්තෙ අපේ මිදුලෙ ඉඳන් හිනා වෙවී බලං ඉන්නව.
හැම දෙයක්ම අංග සම්පූර්න නැති උනත් අපේ තාත්ත පුදුමාකාර මනුස්සයෙක්.වඩු වැඩ මේසන් වැද ඉලෙක්ට්‍රොනික් වැඩ මිකෑනිකල් වැඩ මෙකී නොකී ගොඩක් දේවල් ගැන හොඳ අවබොදයක් තිබ්බ මල්ටි ටැලන්ටඩ් මනුස්සයෙක්. අම්ම උනත් අදටත් කියන්නෙ තාත්ත තරම් දක්ශ පිරිමියෙක් මුලු ගමේවත් හිටියෙ නැතැයි කියාය. ජීවිතයේ හැම දෙයක් ගැනම හැම අතින්ම පරිපූර්න නොවුනත් එයා සිංහලෙන්ම කියනවනං යුනික් කැරැක්ටර් එකක්. මේක කියවන ඔයාලට තාත්ත සහ මම අතර පොඩි හිස් තැනක් තියනව වගේ හැගුනනං ඒක බොරුවක් නෙවේ . නමුත් තාත්තට මගේ හිතේ තියන ගෞරව භක්තියේ තරම මේ ලිපියෙන් ඒත්තු ගන්නන්නට බැරි වීම ගැන මම හැමෝගෙන්ම සිය දහස් වාරයක් සමාව ඉල්ලනවා.

4 comments:

  1. හ්ම්ම්..බොහේමියානුවෙකුගේ රතු පාට හිතුවිලි...නරකද මේකේ තව හිතුවිලි පොදියක් ලිහලා ජාලගත කලානම්

    ReplyDelete
  2. ලියන්නැතුවම ඉදලද මන්ද රහ අඩු වෙලා. එ්ත් ලිවුව එකම මදැයි.

    කෝ යකෝ සීයෙ පාර්ට් ටයිම් ලවර් ඉතුරු ටික??

    ReplyDelete
    Replies
    1. රහ අඩු වෙලා? මඤ්ඤංද සාසො? :P

      Delete
  3. අන්තිම පෙලියෙන් කාලෙකට ඉස්සර කියවල රසවින්දා.කාලෙකට පස්සෙ ආයෙත් කියවලා රසවින්දා... :)

    ReplyDelete